Wednesday 30 December 2009

Junta (කුමන්ත්‍රණකාරී එකතුව)

ස්පාඤ්ඤ භාෂාවෙන් දේශපාලන ශබ්දකෝෂයට එක් වූ වචනයකි. මෑත කාලයේ අපි අතර වැඩියෙන්ම කියවෙන වචනය කුමක් දැයි කෙනෙක්ගෙන් ඇසුවහොත් පිළිතුර වනුයේ, "කුමන්ත්‍රණ" යන්න බව අවබෝධ කොට ගත හැක. පාලක පාර්ශවයෙන් නිතරම කියවෙනුයේ කුමන්ත්‍රණයක් ඇත යන්නයි. එය එසේ‍ මෙසේ එකක් නොව "ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්" බව ද පවසයි. ආණ්ඩුවේ විවිධ ඇමතිවරුන් මෙන්ම මන්ත්‍රීවරුන් ද විවිධ පාර්ශවයන් ද මෙම වචනය නිතරම මුමුණයි. ජනතාව ද මුමුණයි. එහෙත් ප්‍රශ්නය ඇත්තේ කුමන්ත්‍රණය කුමක් ද යන්න‍ට අර්ථ ගැන්වීමක් නොමැති කමය. බලවත් පාර්ශවයන්ගෙන් කිසිම අයෙක් එහි අගක් මුලක් මැදක් කියන්නේම නැත. සොහොනක් අසළින් බය වූ කෙනෙකු මෙන් නිතරම දොඩවයි. මිනිසුන් ඉතා තද බියකට ඇද වැටුණු කළ බලාගත් අත බලාගෙන ඔහේ කියවයි. දැන් අප‍ටත් තේරෙන්නේ ආණ්ඩුව බිය වී ඇති බවයි. කුමක් හෝ ඉතා ප්‍රබල දෙයකට ඔවුන් බිය වී ඇත. එහෙයින් ඔවුන් "කුමන්ත්‍රණ" යන්නක් ගැන කියවයි.

එය දැන් කුමන්ත්‍රණකාරී එකතුවක් (Junta) බවට පත් වී ඇතැයි ද‍ වෙනත් අයුරකින් කියනු ලබයි. එවැනි එකතුවක් ගැන ජනතාවට නිසි අවබෝධයක් ‍නොමැත. මොකද ඔවුන් එවැනි එකතුවක් දකින්නේ ආණ්ඩුවේ පාර්ශවයෙනි. ආණ්ඩුවට සම්බන්ධ කොටස් වලිනි. එහි හිටපු L.T.T.E. කාරයින් ඇත. හිටපු බෞද්ධ රාජ්‍ය කාරයින් ඇත. ජිහාඩ් වැනි සංවිධාන සමග මොසාඩ් වැනි අති භයංකාර සංවිධාන සමග සබඳතා පවත්වන්නන් ඇත. වමේ ව්‍යාපාර වලින් පලවා හැරි ප්‍රතිපත්ති රහිත හිස් මිනිසුන් සිටී. බෝඩ් ලෑලි වලට පමණක් සීමා වූ අය සිටී. ඉතින් මේ පිළිබඳව සලකද්දී Junta දැකිය හැක්කේ ආණ්ඩුවේ පැත්තෙනි.

ඉතින් රටේ ජනතාව බුද්ධිමත්ව Juntaවන්ට පිළිතුරු සැපයීමට තව දුරටත් ඇඟිලි ගනිමින් සිටී......!

Tuesday 29 December 2009

කක්කුට්ටන් ඕනෑ කර තිබේ....!



යථෝක්තය පසුගිය දිනෙක සති අන්ත පුවත්පත් වල වාටියේ පළ වූ පුවතකි. කාගේත් මන බඳින ලෙස සකස් කර තිබූ එම දැන්වීම අග්ගිස්සටම කියවන්නට සිත් විය. කියවූ විට ඉහ මොළ රත් වී බඩට නොව සිනහවට පාචනය වැළඳුනි. මන්ද යත් එටේම සිටින කක්කුට්ටන්ගේ සංගමයට එකතු වන ලෙස ආරාධනා කොට තිබීමය.

ලොවම අන්දමන්ද වන ලෙස තොවිල් නටා, ඩෙවල් දමා මිට අවුරුදු 1 1/2 කට පමණ පෙර ඇල්ලූ කස්තිරම දැන් කාලි අම්මා වැසුණු මායමක් වැනිය. මීට දින කිහිපයකට ඉහත ලොකුම කක්කුට්ටන් කිහිප දෙනෙකු එම සංගමය හැර දමා ගොස් තිබුණි. දිවයිනේ විවිධ දිස්ත්‍රික්ක වලින් කක්කුට්ටන් හැර යාමට පටන් ගෙන ඇත. කක්කුටු සංගමයේ තවත් අය ගොළු වී හමාරය. සමහරු අන්ධ වී කොර වී ඔත්පල වී ඇත. ඔවුන් සියලු දෙනාම හත්පොලේ ගාගෙන ඇත.

ආරංචි විදියට ඉදිරි දින වල දී කක්කුට්ටන් හැර යාම සංදර්ශනාත්මකව පැවැත්වීමට තීරණය කොට ඇත. ඉතින්... සිනහවට පාචනව නොවැළඳේ නම්.....

අනේ කක්කුටු ‍නොදිටි මොක්පුර......!

Tuesday 1 December 2009

බ්ලොග් අවකාශයට ආයුබෝවන්෴

කුරුල්ලන් දහස් ගණනින් පියඹා ගියත්, පහරවල් දහස් ගණනක් දරා ගත්තත්, මිනිසුන් ලක්ෂ ගණනින් තම අරමුණු සොයා ගියත්, ලැබෙන්නේ එක ඵලයයි. එම ඵලය විඳ ගන්න, සතුටු වෙන්න, අපි බලාගෙන ඉන්නවා….