Monday 22 March 2010

සුබ අනාගතයක්

හිතේ හැටියට මුදල් වියදම් කර, හිතේ හැටියට කටවුට් ගසා, හිතේ ඇති තැන්වල ඉදි කළ නාම පුවරුවල දුටුවේ අපේ සුබ අනාගතය පෙන්වන රූප පෙළහරකි. ඒ සෑම එකකම රටේ ජනතාවගේ අනාගතය සුබ වන බව පෙර නිමිති පහළ කළහ.

ජනවාරි 26 දායින් පසුව එළැඹුනේ සුබ අනාගතයේ කාලයයි. ජනවාරි 24 දින ප‍්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් විය. ජනවාරි 28 දින ජවිපෙ නායක සෝමවංශට මරණීය තර්ජන එල්ල විය. ජනවාරි 30 වන විට දශක හතරකට පසුව ලංකා ඉරිදා සංග‍්‍රහය පුවත්පතට සීල් තබා එහි කර්තෘ චන්දන සිරිමල්වත්ත අත්අඩංගුවට ගනු ලැබීය. පෙබරවාරි 08 වන දින ජෙනරාල් සරත් ෆොන්සේකා චෝදනා රහිතවම පැහැරගෙන යන ලදී. ඊට එරෙහිව ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය සඳහා පැවැත්වීමට නියමිත වූ සංඝ සම්මේලනය හිටි හැටියේම ආරක්‍ෂක නොවන හේතූන් මත අතුරුදන් විය. ඊට අමතරව ජෙනරාල්ගේ සහායට පැමිණි විශ‍්‍රාමික යුධ විරුවන් චෝදනා රහිතව සිර ගෙවල් වල ගාල් කොට ඇත.

ජනාධිපතිවරණ මැතිවරණ සමයේ ජෙනරාල්ට එරෙහිව මඩ පත‍්‍රිකා, පෝස්ටර් මුද්‍රණය කළ මුද්‍රණාලයක් වැටලූ බස්නාහිර පළාත් විශේෂ විමර්ෂණ ඒකකයේ ස්ථානාධිපතිවරයා වැඩ තහනමට ලක්ව ඇත. ජෙනරාල්ට එරෙහි මඩ පත‍්‍රිකා හා පෝස්ටර් විශාල ප‍්‍රමාණයක් සහිත නාවික හමුදා ලොරියක් අත්අඩංගුවට ගත් කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්‍ෂකගේ වැඩ තහනම් කොට ඇත. ටිරාන් අලස්ගේ නිවසට බෝම්බ ගැසුවේ නිල් බලකාය විසින් යැයි උසාවිය හමුවේ කියා සිටි වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනමට ලක් වී ඇත. මාතර, යාපනය, නෙල්ලඩි හා චුන්නාකම් වල ජෙනරාල්ගේ ඡන්ද ප‍්‍රතිශතය වැඩිවීම මත එම පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ වැඩ තහනම් වී ඇත.

ආණ්ඩුවේ මැරයන් විසින් තංගල්ලේ දී කාන්තාවක් වෙඩි තබා මරා දමන ලදී. මහනුවර නාවලපිටියේ දී භික්‍ෂූන් වහන්සේ නමක් බෝම්බ ගසා අපවත් කරන ලදී. අම්බලංගොඩ නගර සභාවේ මන්ත‍්‍රි චන්ද්‍රදාස නයිදුවාවඩු ඝාතනය කෙරිණි. රාජ්‍ය ආයතන බොහෝ ගණනක ලංගම, ඛණිජතෙල්, වරාය, සමෘද්ධි, ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය වැනි ආයතන ගණනාවක දැනටමත් සේවක මාරුවීම් අරඹා ඇත. හමුදාව, පොලීසිය, ආගමික නායකයින්, ආගමික ආයතන රාජපක්‍ෂකරණය කරමින් සිටී.

ආණ්ඩුව පවසන්නේ කුමක් ද? තමන්ගේ පාලනය කොයිහැටි වෙතත් බාරගන්නා ලෙසය. පාලකයාගේ සිට පාලනයට හවුල්ව ඇති උන්ගේ ද අවශ්‍යතාවය තමන්ගේ ජනතාවට තම පාලනය තහවුරු කිරීමය. තම පාලනයට එකඟවන පුද්ගලයන්ට වරදාන, වරප‍්‍රසාද හා සංතෝෂම් දෙන වත්මන් පාලනය තමන්ට විරුද්ධ වන්නන්ට සැලසුම් සහගත ලෙස මර්ධනය මුදා හරී. තම අධ්‍යාත්මය නොවිකුණූ කලාකරුවන්ට, මාධ්‍යවේදීන්ට හා දේශපාලකයන්ට එම මර්ධනය දිනපතා එල්ල වෙමින් පවතී.

මේ අරඹා ඇති පාලනය ජනතාවට නොවැටහුනත් සරලව සිතිය නොහැක. මුළු මහත් ජනතාවම කොතරස් ආලෝකය තිබුණත් අඳුරේ ජීවත් වීමට හුරු වෙමින් සිටී. දේශපේ‍්‍රමය නමැති ආයුධය අසුව තිබෙන්නේ භයානක කල්ලියකටය. ඔවුන් සිහිමද ගතියෙන් යුක්තව හැසිරෙන නිසා අනාගතය සුබ විය හැකි අයුරු සිතාගත හැක. තවමත් ඔබේ දොරට ඔවුන් තට්ටු කර නොමැති විය හැක. එහෙත් අද නොව හෙට ඔවුන්ගේ ගොදුර බවට ඔබ පත් විය හැක.

එහෙයින් අනාගතය සුබ වීම සඳහාත් වර්තමාන සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහාත් අප සියලූ දෙනා එක් විය යුතුය. දැන් අරඹා ඇති සටන කෙළවර කළ යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමෙන් පමණකි. මෙය මැතිවරණ සටනක් තුළ පමණක් කළ නොහැක. උකටලීව බිය වී යටහත්ව සිටින ජනතාව මුදා ගත හැක්කේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් වූ පුළුල් ජනතා බලවේගයකට පමණි. ඒ සඳහා අප සූදානම් විය යුතුය. වර්තමාන සමාජයේ අපට කිසිදු දෙයක් සටන් කොට මිස දිනාගත නොහැක. අප යටහත්ව නොසිට සටන් කළ යුතුය. ආරම්භක මොහොතේ ජයග‍්‍රහණ අවම වුවද, අවසානයේ දී ජයග‍්‍රහණ ලැබිය හැක. එහෙයින් ධෛර්යය ගෙන අවබෝධයෙන් යුක්තව සටන අරඹමු!

"අද දවසේ දරුණුම ඛේදවාචකය වනුයේ නපුරු මිනිසුන්ගේ දුෂ්ට ක‍්‍රියා නොව යහපත් මිනිසුන්ගේ නිහඬතාවය බව මතක තබා ගන්න”
- මාටින් ලූතර් කිං -

දද සහ හොරි

මාතෘකාව දකින විටත් අපුලක් ඇති වේ. එසේ වන්නේ ශරීරයේ දද හොරි හෝ කුෂ්ට ඇති වූ විට කැසීමට, තුවාල වීමට, ලේ ගැලීමට හා දැඩි වේදනාවකට පත් වන බව දැනීමෙනි. ජයග‍්‍රහණ අහිමි සමාජයට පසුගිය යුධ ජයග‍්‍රහණ ලැබීම කුඩා අස්වැසිල්ලක් වූ අතර හොරුන්ට, තක්කඩින්ට, වංචා කාරයින්ට දේශපේ‍්‍රමීන් බවටත්, හොරකම, මැරකම, දූෂණය, නාස්තිය වෙනුවට දේශපේ‍්‍රමය ගෙන කථා කිරීමටත් අවස්ථාවක් ලැබිණි. එය හොරි, දද, කුෂ්ට හැදුනු කලෙක කසන්නාක් මෙන් දේශපේ‍්‍රමය නැමති හොරිය උඩ දමා කසයි. පෙරළි පෙරළී කසයි. ඔල්වරසන් නගමින් ප‍්‍රීති ඝෝෂා කරමින්, සතුරන් මට්ටු කරමින් කසයි.

ඉතින් කසන්න, ප‍්‍රීති ඝෝෂා කරමින් කසන්න. පෙරළි පෙරළී කසන්න. එහෙත් නිතරම කැසීමෙන්, දිගටම කැසීමෙන් පසුව ඔබ කැසීම නතර කරනු ලබයි. මතක තියා ගන්න. කසන විට ඇති ප‍්‍රීතිය කසා ඉවර වූ සැනින් අවසන් වන බව. ඉන් අනතුරුව සතුට, ප‍්‍රීතිය වෙනුවට වේදනාව විඳ දරා ගැනීමට සූදානම් වන්න......!

ඔව්.... සූදානම් වන්න. පසුව දැනෙන වේදනාවට......!

Saturday 20 March 2010

අඳුර

අපි කිසි කෙනෙකු අඳුරට කැමති නැත. ඒ අපට කිසිවක් නොපෙනෙන නිසාවෙනි. එහෙයින් අඳුරේ සිටින අප සොයන්නේ ආලෝකයමය. අකුණු ගසනවාට තමන් කැමති යැයි වරක් බර්ටෝල් බ්‍රෙෂ්ට් තම කවියක ලියා තිබුණි. ඒ මොහොතකට හෝ ආලෝකය වැටෙන නිසාවෙනි.

එහෙත් වර්තමානයේ අප සමාජය සිහි විකල්ව අඳුරේ ගිලී සිටී. ඔවුන්ට ආලෝකය අනවශ්‍යය. ඒ ඔවුන්ට සැබවින්ම ආලෝකය එපා වී නොව, එය ඉල්ලා සිටීමට තරම් සිහියක් නොමැති නිසාවෙනි. විකල්ව ඇති සිහිය යථා තත්වයට පත් වන විට ඔවුන්ගේ හා ඔවුන් අසළ තිබූ සියල්ල ඔවුන්ට අහිමි වීමට ඉඩ ඇත.

එහෙයින් මෙපමණ හෝ ආලෝකය වැටී තිබෙන තත්වයක තව දුරටත් අඳුරේ සැඟවී සිටීම නොව හැකි පමණින් ආලෝකය දෙසට පැමිණෙන ලෙස ආරාධනා කරමු.......!

නැතිනම් තමන් පියවි සිහියට පැමිණෙන විට ප‍්‍රමාද වී ඇතිවාට සැක නැත.

Thursday 18 March 2010

වෛරය......!

අප සමාජයේ මිනිසුන් නොයෙක් දෑ වලට වෛර කරනු ලබයි. කෙනෙකු මිනිසුන්ට වෛර කරන විට තවකෙක් සමාජයටම වෛර කරයි. තවකෙක් ගැහැණුන්ට වෛර කරන විට තවකෙක් පිරිමින්ට වෛර කරනු ලබයි. තවකෙක් සංස්කෘතියට වෛර කරන විට තවකෙක් අපේ කමට වෛර කරයි. මේ අයුරින් විවිධ අයගේ රුචි අරුචිකම් මත වෛරය හා අවෛරය තීරණය කර ගන්නා අතර, අපට ද මෙම ලිපිය පුරාවටම ඒ පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කළ හැක. එහෙත් අපගේ මෙම ලිපියේ අරමුණ ඔවුනොවුන්ගේ වෛරය පිළිබඳ නොව, මුළු මහත් සමාජයේ 50%කට වඩා වැඩියෙන් වෛර කරන පිළිකෙව් කරන යමක් පිළිබඳව සටහන් කිරීමය.

අප දැන් ජීවත් වන්නේ 2010 වර්ෂයේය. එනම් මෙම ශතකයේ දශකයක් ගෙවා දැමීමට සූදානම් මොහොතකය. වර්තමානය වන විට අප රටේත්, සමාජයේත් විශාල ජාතික ප‍්‍රබෝධයක් ඇති වී තිබේ. මෙය ඊයේ පෙරේදා ඇති වූවක් ද නොවන අතර, මෙම ශතකය ආරම්භයේ දී ද (එනම් 2000 වර්ෂය වන විට) මෙවැන්නක් රට තුළ දක්නට නොවීය. එසේ නම් මෙම ජාතික ප‍්‍රබෝධයේ ආරම්භය කොතැනකැයි කිව හැකිද? එමෙන්ම විජාතිකත්වයට වූ වෛරය මෑතකාලීනව ආරම්භ වන්නේ කොතැනකින් ද? අප ඉතිහාසය දෙස විමසා බලමු.

2000 වර්ෂය වන විට අපේ රටේ තුන්වැනි ඊලාම් යුද්ධය දියත් වෙමින් තිබුණි. ඊට පෙර මේ සඳහා වූ විවිධ සාම ගනුදෙනු අතරමග නතරව තිබුණි. එම වර්ෂය අවසානයේ මැතිවරණයක් පැවැත්වුනු අතර, පාලක පක්‍ෂය ඉන් ජයග‍්‍රහණය කෙරුණි. එහෙත් ඉන් වසරක් යාමටත් මත්තෙන් ආණ්ඩුව අස්ථාවර වූ අතර, නැවත මැතිවරණයකට යාමට සිදු විය. ඒ වන විට දැවැන්ත ආර්ථික යුද්ධයක් රට තුළ නිර්මාණය වී තිබූ අතර, ආර්ථික වර්ධන වේගය ඍණ අගයක් දක්වා පහත බැස තිබුණි. ඊට අමතරව ලෝකයේත්, අප රටේත් වඩා වැදගත්ම ස්ථාන වලට ත‍්‍රස්තවාදී ප‍්‍රහාර එල්ල විය. මෙවැනි කාල සීමාවක් විපක්‍ෂයට වාසිදායක වූ අතර, එළැඹෙන මැතිවරණයෙන් ජයග‍්‍රහණය කිරීමට ද ඔවුන් කල් යල් බැලීය. එම මැතිවරණය වන විට රට හැරවුම් ලක්‍ෂයකට පැමිණ තිබූ අතර, මැතිවරණයෙන් පසුව රට තුළ විවිධ විපර්යාස සිදු වන්නට විය.

එක් පැත්තකින් බෙදුම්වාදී ත‍්‍රස්තවාදය ශක්තිමත් වෙමින් තිබූ අතර, ආර්ථිකය ගෝලීයකරණ සංකල්පය තුළ ලිබරල්කරණය වෙමින් පැවතුනි. ජාතිකකරණය වෙනුවට විජාතිකකරණය විවිධ වෙස් ගනිමින් පවතින බව දැකගත හැකි විය. අපේකම වෙනුවට උන්ගේකම ආදේශ වන්නට විය. බෙදුම්වාදී ත‍්‍රස්තවාදය නව වටයකින් ශක්තිමත් වෙමින් රට තුළ ඔවුන්ගේ ආධිපත්‍යයක් පතුරුවන්නට සමත් වෙමින් තිබුණි. විවිධ ජාත්‍යන්තර මැදිහත්කරුවන් ජාත්‍යාලයේ වෙස් ගෙන රට තුළට රිංගා ගැනීමට වෙහෙස ගත් අතර, එසේ පැමිණිවුන් ආපසු ගියේ හිස් අතින් ද නොවීම විශේෂත්වයකි.

මේ අනුව සමාජයේ ජාතිකත්වයට පක්‍ෂපාතී විජාතිකකරණයට එරෙහි සමාජ බලවේගයක රික්තය තහවුරු වෙමින් පැවතුනි. සමාජයට අවශ්‍ය වූයේ මෙවන් වූ පාලනයක් ආරක්‍ෂා කිරීම නොව වෙනත් යහපත් පාලනයක් ගෙන්වා ගැනීමය. ඒ අනුව ජාතික හැඟීම වටා විවිධ බුද්ධිමතුන්, ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, ගුරුවරුන්, වෛද්‍යවරුන්, කලාකරුවන්, දේශපාලකයින්, බුලත්විට අලෙවි කරන්නන්, නාට්ටාමිවරුන්, වෙළෙන්දන්, පොල් කඩනවුන් යන මෙකී නොකී සියලූ බලවේග එක රොදකට පොදි බඳින්නට විය. මෙහි විශේෂත්වය වූයේ මීට නායකත්වය සපයනු ලැබුවේ මෙරට ශක්තිමත් විප්ලවවාදී ව්‍යාපාරය විසිනි. විප්ලවවාදීන්ගේ රතු ධජයත්, ජාතියේ ජාතික කොඩියත් එක මිටට ගත් ඔවුහු ගාල්ලේ සිට කොළඹටත් මහනුවර සිට කොළඹටත් වීදි බසින්නට විය.

ජනතා විරෝධයන් දිගටම එල්ලවද්දී පාලක පක්‍ෂයද තම කටයුතු අත්හැරියේ නැත. ආර්ථිකය සතු රාජ්‍ය සම්පත් විකුණා දමමින්, කුලී පදනම මත බදු දෙමින්, විකුණාගෙන කන ආර්ථිකයක් නිර්මාණය කරමින් තිබුණි. අනෙක් පැත්තෙන් ත‍්‍රස්තවාදී ව්‍යාපාරය ද්විත්ව බලයක් රට තුළ නිර්මාණය කිරීමට දායක වී තිබුණි. ජනතාවගේ විරෝධතාවයන් තීව‍්‍ර වූයේ මේ සමගින්. ඒත් සමගම නායකත්වය සැපයූ වාමාංශික ව්‍යාපාරය ඉතාම ශක්තිමත් ව්‍යාපාරයක් ලෙස හිඳිමින්, ජාතිකවත් ජාත්‍යන්තරවත් මෙම තත්ත්වය පරාජය කිරීම සඳහා කටයුතු කරමින් සිටිනු දක්නට ලැබුණි. ඔවුන් පාලක පක්‍ෂයට, අධිරාජ්‍යවාදීන්ගේ නියම නියෝජිතයා ලෙසත්, ත‍්‍රස්තවාදීන්ගේ රාජ්‍යය ශක්තිය ඔවුන් බවටත් නම පතුරු යන තුරු වේදිකා තුළ මත නිර්මාණය කරන්නට විය. විශේෂයෙන්ම මෙම වමේ ව්‍යාපාරය මැදිහත්ව රට තුළ ජාතික චින්තනයක් ද බෙදුම්වාදී ත‍්‍රස්තවාදයට විරුද්ධ මතයක් ද නිර්මාණය කරන්නට සමත් විය.

එහි ප‍්‍රතිඵලයක් ලෙස සමාජය එම මතය භාරගත් අතර, එය පාලක පක්‍ෂයේ විජාතිකත්වයට එරෙහි කඳවුරක් නිර්මාණය කරන්නට සමත් විය. එතැන් පටන් පාලකයින්ගේ ක‍්‍රියාකලාපයන් අධිරාජ්‍යවාදී මැදිහත්වීම් ලෙස හඳුනාගත් ජනතාව, තමන්ට තේරෙන බසින් අධිරාජ්‍යවාදය යන්නත්, දේශපේ‍්‍රමය පිළිබඳවත් හඳුනාගන්නට විය. සමස්ථ ජනතාවම වමේ ව්‍යාපාරයේ මැදිහත්වීම මත ජාතික ප‍්‍රබෝධයකට ගෙන ආ අතර, දේශපේ‍්‍රමීන් ද නිර්මාණය කෙරිණි.

ඒ අනුව යමින් එතෙක් පැවති පාලනය පෙරළා දැමීමට වමේ ව්‍යාපාරයේ නායකත්වය සහිතව රටේ ජනතාවට හැකි විය. එතැනින් ආරම්භ වූයේ දේශපේ‍්‍රමීන්ගේ කාලයයි. ඔවුන්ගේ වාරයයි. සියලූ අධිරාජ්‍යවාදී මැදිහත්වීම් වලට එරෙහිවවත්, බෙදුම්වාදී ත‍්‍රස්තවාදයට එරෙහිවවත් රටේ ජනතාව නිතර වීදි වල සටන් පාඨ කියනු දක්නට ලැබුණි. එතෙක් පැවති පාලනයට එරෙහි ''ආධ්‍යාත්මික විරෝධයක්” වමේ ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් නිර්මාණය කෙරිණි.

වර්තමානය වන විට අප මාතෘභූමිය තවත් වටයකින් අනතුරකට මුහුණ දෙමින් සිටී. ඊට එරෙහිව මෙවර ද වමේ ව්‍යාපාරය නායකත්වය ගෙන ඇත්තේ විද්වතුන්, බුද්ධිමතුන්, ආචාර්ය මහාචාර්යවරු සමගින් ඔවුන් විසින්ම මහා ''ආධ්‍යාත්මික විරෝධයක්” නිර්මාණය කළ පෙර පැවති පාලකයින්ගේ කණ්ඩායම සමගිනි.

එහෙත් මෙවර ද ජනතාව මෙම පුළුල් ජනතා ව්‍යාපාරය භාරගැනීම පිළිබඳ දෙගිඩියාවක නැතත්, ඔවුන්ට සිතීමට බල කර සිටින කාරණාවක් මතුව ඇත. එනම් ඔවුන් සිත් තුළ ඉදිව ඇති ''ආධ්‍යාත්මික විරෝධයේ” ස්ථම්භයන් ඔවුන් විසින්ම කඩා බිඳ දැමීමට තවමත් ඔවුන් කල්පනා කරමින් සිටින බවය. එය ඒ තරමටම ජනතා සිත් සතන් තුළ කිඳා බැස ඇති වෛරී සහගත විරෝධයයි. පෙර පැවති පාලනය පිළිබඳව ඔවුන් නැවත නැවතත් මතක් කරමින් තම විරෝධයන් අලූත් කර ගනිමින් සිටී. එහෙයින් ඔවුන් කල්පනා කරනුයේ එම කණ්ඩායම නොමැති පෙර මෙන්ම දේශපේ‍්‍රමීන්ගේ කණ්ඩායමකි.

පසුගිය මැතිවරණ සටනේ දී 50%කට වඩා වැඩියෙන් රටේ ජනතාව පවසා ඇත්තේ එයයි. එහෙයින් සමාජගත වෛරය ආපසු හරවා ගැනීමට ජනතාව සූදානම් නැතිවාක් මෙන්ම, ඔවුන්ට නැවත බලයට ගෙන ඒමට ද රටේ ජනතාවට උවමනාවක් ඇති බවක් නම් පෙනෙන්නේ නැත. එහෙයින් ජනතාව දැන් බලා සිටින්නේ රටේ වමේ ව්‍යාපාරය කෙබඳු ක‍්‍රියාමාර්ග ගන්නේදැයි යන්නය. එය ජනතාවට පැහැදිලි වන තෙක් වර්තමාන පාලකයින් අලූත් වර්ගයේ ''ආතල්” ගනු ඇත. ඔවුන් මතක තබා ගත යුතු වන්නේ, මෙවර රට හමුවේ ඇති ඉතා තීරණාත්මක කාල පරිච්ඡේදයට මුහුණ දීමට ජනතාවට ශක්තිය ඇතිවාක් මෙන්ම, නුදුරේ දී ම ඔවුන් ඉතා දැඩි තීරණයක් ගනු ඇති බවයි.

නුවර පාරෙන් ගිය පමණින් සුන්දර හා ඓතිහාසික ස්ථාන දැකබලා ගත නොහැකි බවත්, කවරකු නොව කවරක් නිවැරදි ද යන්න ජනතාව මැනවින් වටහා ගෙන ඇති බවත්, සදාහරිතයින් වුවද තේරුම් ගත යුතු කාලය එළැඹ ඇති බව ද මතක් කර දිය යුතුය.

Tuesday 16 March 2010

යුතුකම් ඉටු කරමු !

මේ බ්ලොග් එකට ආව ගිය අයට පසුගිය දවස් වල අලුත් යමක් දැක ගැනීමට නොහැකි වූ නිසා අපිව සදහටම දාල යන්නත් ඇති සමහරු. තවත් සමහරු දින කිහිපයකට සැරයක් හෝ අප වෙත එනවා යනවා ඇති. තවත් අයෙක් දිනපතාම අපි ගැන සෙවිල්ලෙන් ඉන්නවා ඇති.

මොන දේ මොන විදියට වුනත්, අපි වෙත එන හැමෝටම අපි ගැනත් ටිකක් සඳහන් කරන්න වෙනවා. අපි වෘත්තිය බ්ලොග් කරුවන් නොවේ. දිනපතාම අපිට සිංහල අකුරු ‘යුනිකෝඞ්’ බවට පෙරළන්න වෙලාවක් වෙන් කර ගැනීමේ අපහසුවක් තියනවා. අපි නියැලෙන කටයුතු සමග අපගේ අවිවේකීයත්වය අපව යට කරගෙන ගොසින්. කෙසේ වෙතත් තරමක නිහැඬියාවකින් පසුව වුවත් මෙසේ ඔබ වෙත පැමිණීමට කල්පනා වූයේ ඔබ අපිව හැර නොගිය නිසාවෙන් වූ යුතුකම ඉටු කිරීම සඳහායි.

ඇත්තටම සඳහන් කළොත්, පසුගිය දවස් වල මේ රටේ සිදුවුණු දේවල් දුටුවාම අදහා ගන්නත් බැරිවුණා. මේ සිදුවීම් මීට කලින් සිනමා කෘති වලින් අප දැක තිබුණා. පොත් වලින් කියවලා තිබුණා. මේ රටේ පසුගිය දවස් වල කෘතගුණ සැලකීම සඳහා දින වෙන් කර තිබුණා. එය හැඳින්වූයේ ‘කෘතගුණ සැලකීමේ දිනය’ වශයෙන්. අපේ රටේ අය රොද බැඳගෙන, පොරකකා, බිම පෙරළි පෙරළී කෘතගුණ සැලකීමට දායක වුණා.

එතනින් පස්සේ මොකද වුණේ. මාධ්‍ය වලින් අපට අසන්නට දකින්නට ලැබුණේ එතරම් හොඳ දේවල් නොවෙයි. සමහර පක්ෂ නායකයින්ට මරණ තර්ජන, දශක 4 කට පසුව ප‍්‍රථම වතාවට අපේ රටේ මුද්‍රිත මාධ්‍යයක් සීල් තැබුවා. එහි කර්තෘව දින ගණනාවක් අත්අඩංගුවේ රඳවා තබා ගත්තා. සමහර මාධ්‍ය ආයතන වල වැඩ කළ මාධ්‍යවේදීන් අතුරුදහන්. ඔවුන් පිළිබඳ තොරතුරක් නැහැ. අපේ රටේ පවතින වත්මන් පාලනයට විරුද්ධ මත දැරූවන්ගේ ඔළු පලලා, ගෙවල් ගිනි තියලා, වාහන ගිනි තියලා, සමහරුන් හිරබාරට අරන් රටේ ලොකු විපර්යාසයක් සිදුවෙමින් තිබුණා. අපේ රටේ මහනායක ස්වාමීන්වහන්සේලා පවා යම් මෙහොතකට අරුම පුදුම කාලවකවානුවකට මුහුණ දෙන්න පටන් ගත්තා. ලොකුම අදහාගත නොැකි දේ බවට පත් වූයේ පවතින පාලනයට විරුද්ධ මතයක් දැරූ පසුගිය කාලයේ රටේ වීරයා වූ අයව අත් අඩංගුවට ගැනීමත් සමගයි. අපේ රටේ දශක ගණනාවක් තිබු අශිෂ්ටත්වයේ සංකේතයන් මුලිනුපුටා දමා, ලෝකයේම Super Star බවට පත් වූ පුද්ගලයා අත් අඩංගුවට ගැනීම මේ රටේ බොහෝ අයට රිච්ටර් මාපක බොහෝ ගණනක දේශපාලන භූ කම්පාවක් ඇති කිරීමට සමත් වුණා. මෙය හරියට ප‍්‍රති කෘතගුණ සැලකීමක් බවට පත්වෙමින් තිබුණා.

ඇත්තටම කිවහොත් මෙම දේශපාලන භු කම්පනයට අපද හසු විය. දකුණු ඉන්දීය සිනමා පටවල අප දකින වීරයා අවසාන මෙහොතේ සියල්ල ජයග‍්‍රහණය කොට ජනතා ප‍්‍රණාම දිනා ගන්නවා මිසක දෙඅත්වල මාංචු දමා ගන්නේ නැත. වාතාශ‍්‍රය හෝ හිරු එළියවත් නොවැටෙන කාමර වල හිර අඩස්සියේ සිටින්නේ නැත. එහෙත් ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා නොහොත් ජනරාල් සරත් ෆොන්සේකා මහතාට එවැන්නක් සිදු විය.

අප දේශපාලන මතය කුමක් වූවත්, ජනරාල් අත්අඩංගුවට ගැනීම කිසි විටෙක අනුමත කළ නොහැක. එපමණක් නොව ඔහුට විරුද්ධව පාලක පක්‍ෂයේ කටකතා මඩ ප‍්‍රචාර හා ප‍්‍රවෘත්ති කිසි විටෙකත් ඇසීමට නොහැක. ඒ අපද කෘතගුණ සැලකු මිනිසුන් නිසාවෙන්. අපගේ තරමක නිහැඩියාවට සමාජයේ වූ මෙම විපර්යාසයන් ද බලපෑ බව කිව යුතුමය. අවසානයේ තවදුරටත් නිහඩවීම හෘද සාක්ෂයක් ඇත්තවුන්ට කළ නොහැකි නිසා, යුතුකම් ඉටු කිරීම පිණිස මෙසේ නැවත පෑන අතට ගත්තෙමු.

හෙට දිනයේ ඔහු වෙනුවෙන් දූෂණ චෝදනා හා අපරාධ පරීක්ෂණ, යුද අධිකරණ ඉදිවෙනු ඇත. හෙට දිනයේ ඔහු වෙනුවෙන් සිර මැදිරි, එල්ලූම් ගස් හා ගොබෙල්ස්ලා බිහිවනු ඇත. ඒ ඔහුගේ වීරත්වය, එඩිතර බව හා අධිෂ්ඨානශීලීත්වය විනාශ කිරීම සඳහාය. ඒ ඔහු මෙරට වත්මන් පාලනයට ප‍්‍රධාන අභියෝගයක් වන නිසාය. ඔහුට විරුද්ධව කුමන චෝදනා ඉදිරිපත් කළ ද, විභාග කළ ද ජනතා අධිකරණය පමණක් ඒ කිසිවක් සැලකිල්ලට නොගනු ඇත. එහෙයින් හද කකියවන මෙම සිදුවීම, ලංකා ඉතිහාසයට වූ මෙම කළු පැල්ලම, මකා දැමීම සඳහා අප පෙරමුණ ගත යුතු යැයි සිතමු. ඔහු වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට පෙළ ගැසෙමු. අනාගතය වෙනුවෙන් පෙළ ගැසෙමු......!

අප වේලාසනින් අවදි වුනෙමු.
එහෙත් අප වේලාසනින් අවදි වූ තරමට හිරු පායන්නේ නැත.
දිනෙක හිරු පායද්දී වේලාසනින් අවදි වී සිටීම අපට ප‍්‍රයෝජනයක්ව තිබෙනු ඇත........!


Sunday 14 March 2010

ලිංගික නිදහස හා ආර්ථික නිදහස


අපේ ආරම්භය දකින ඕනෑම කෙනෙකුට සම්ප්‍රදාය, විනය, සදාචාරවත්බව හදිසියේම මතක් වන්නේ නම්, එය පුදුමයට කරුණක් නොවන බව අපි සඳහන් කරමු. ඊට හේතුව අප ජීවත් වන සමාජය ලිංගිකත්වය පිළිබඳ කථා කිරීමට විනා නිදහසේ සිතීමටවත් ඉඩක් තබා නොතිබීම මගිනි. තවද අප ලිංගික නිදහසක් වෙනුවෙන් සංවිධාන අටවා, ඒ වෙනුවෙන් මාධ්‍ය සංදර්ශන පවත්වා, ජනතාව ඥාණනය කිරීමේ කටයුත්තක‍ට අතගසා නොමැති බවත්, අප ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන කණ්ඩායමක් නොවන බවත් තරයේ අවධාරණය කොට සිටිමු.

එහෙත්, ශ්‍රී ලංකාව වැනි ගතානුගතික අදහස් උරමත දරාගෙන වර්තමානයේ සිට ඉතිහාසය හාරා අවුස්සමින් තම අනන්‍යතාවයක් ‍සොයා මිනිසුන් වෙසෙන සමාජයක පවතින සිර මැදිරි එකින් එක බිඳ දමමින් නිදහස් මිනිසුන් බිහි කිරීම අපේ අරමුණ වී ඇත්තේය. එහෙයින් ආරම්භයෙන් නොව අවසානයෙන් අපගේ වෑයම තේරුම් ගන්නා මෙන් ඉල්ලා සිටිමු.

මිනිසාගේ ජීවිත කාලය තුළ ඔහු විසින් ඉටු කරනු ලබන ක්‍රියා රාශියකි. විටෙක ඔහු මිනිසා වෙනුවෙන්, ජීවයේ අඛණ්ඩතාවය වෙනුවෙන් සොයාගැනීම්, නිපදවීම් කරනවා පමණක් නොව ඊට ප්‍රතිපක්ෂව මිනිස් සංහතියේ විනාශයට ද කටයුතු කරනු ලබයි. විටෙක උචිත පරිදි ස්වභාවදහම ද වෙනස් කරන ඔහු, තවත් ‍විටෙක ස්වභාවදහමේ විනාශයන්ට ද මුහුණ දෙනු ලබයි.

කෙසේ වෙතත් ජීවීන්ගේ අඛණ්ඩතාව නොනැසී පවතී. ඊට හේතුව කුමක් ද? ජීවීන්ගේ අඛණ්ඩතාවය රඳා පවතින්නේ ප්‍රජනනය (Reproduction) මතය.මෙසේ පොදුවේ ජීවීන් ලෙස හැඳින්වූයේ මිනිසා ඇතුළු සත්වයින් හා ශාකය. සියල්ලම ප්‍රජනනය මත තම වර්ගයා බෝ කරනු ලබයි. මෙය කොටස් ‍02 කි. එනම් ලිංගික ප්‍රජනනය හෙවත් ජන්මාණු හරහා ජීවයක් බිහි වීම හා අලිංගික ප්‍රජනනය හෙවත් මව් ජීවියා කොටස් වලට කැඩීමෙන් ඊට බෙහෙවින්ම සමාන ජීවියෙකු හට ගැනීමයි.

මින් මිනිසාට අදාළ වන්නේ ලිංගික ප්‍රජනනයයි. මෙය මිනිසා විසින් ඉටු කරනු ලබන්නේ තම වර්ගයා බෝ කර ගැනීමේ අරමුණ ඇතිවය. මෙය ජීව විද්‍යාත්මක කරුණකි. එය ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයකි. පරිණාම ක්‍රියාවලියේ දී වඩාත් ම වැදගත් වන්නේ ලිංගික ප්‍රජනනයයි. ජන්මාණු එකතු වීම හෙවත් සංසේචනය මත බිහිවන යුක්තානුව වර්ධනය වීමෙන් නව ‍ජීවයක් හට ගැනේ. මෙම සංසේචන ක්‍රියාවලිය ද කොටස් 02 කි. එනම් බාහිර සංසේචනය හා අභ්‍යන්තර සංසේචනයයි. බාහිර සංසේචනයේ දී සිදු වන්නේ, විශේෂයෙන් ම ජලජ ජීවීන් විසින් සිදු කරනු ලබන්නේ ජලයට තම ජන්මානු නිකුත් කිරීමයි. මෙහි දී ගැහැණු හා පිරිමි ජන්මාණු එකතු වී යුක්තානුවක් බිහිව ජීවය හට ගනු ලබයි. එහෙත් අභ්‍යන්තර සංසේචනයේ දී සිදු වන්නේ පිරිමි ජන්මාණු ගැහැණු සත්වයාගේ ප්‍රජනනය තුළ තැන්පත් කිරීමය. ඒ අනුව වඩාත්ම ඵලදායී හා ආරක්ෂාකාරී වන්නේ දෙවැනි ක්‍රමයයි. මිනිසා නමැති දියුණු සත්වයා අනුගමනය කරනු ලබන්නේ මෙම ක්‍රමයයි. ඔහුගේ ප්‍රජනන පද්ධතිය ඉතා සංකීර්ණ ලෙසත්, මනා ලෙසත් ඊට සංවිධානය වී ඇත.

මෙම කරුණ සටහන් කිරීමට සිදු වූයේ අපගේ අරමුණ වෙත ඔබව ගෙන යාමට පහසු කරවීමට ය. මිනිසාගේ අඛණ්ඩතාවය තීරණය වන්නේ ප්‍රජනන ක්‍රියාවලිය මතය. ඒ සඳහා ස්වභාවධර්මයා ඉඩ සලසා ඇති අතර, ගැහැණියක හා පිරිමියෙකු එක් වීම අනිවාර්ය කරුණකි. එය ඉතාම තෘප්තිකර මොහොතක් බව සත්‍ය වුවත්, එය එවැනි හැඟීමක් දනවා ඇත‍්තේ ස්වභාවදහමට නව ජීවයක් බිහි කර ගැනීමේ උවමනාව මතය.

එහෙත් පිරිමියාට එය තෘප්තිකර අවස්ථාවක් වන්නේ තමාගෙන් ශුක්‍රාණු පිට වන තෙක් පමණි. ඊට ද හේතු වන්නේ මෙම ක්‍රියාවලිය හුදෙක් ම සමාජයේ අනාගතය වෙනුවෙන් නොඑසේ නම් ජීවයේ අඛණ්ඩතාවය පමණක් ම වෙනුවෙන් නිර්මාණය වූවක් නිසාවෙනි. මේ අනුව ලිංගිකත්වය යනු මානව අවශ්‍යතාවයකි. තම වර්ගයා බෝ කිරීමට ස්වභාවදහම විසින් පවරා ඇති වගකීමය. මෙම කරුණු තේරුම් ගත යුත්තේ එපරිද්දෙනි.

එහෙත් ලිංගිකත්වය ගැන කථා කරන විට මිනිසුන්ගේ මුහුණු බිමට හැරවෙන්නේත්, එය කථා කිරීමට තරම් නුසුදුසු මාතෘකාවක් බවට පත් වන්නේත් අප අතරේ පවතින නටඹුන්ගත නිදන්ගත ආකල්ප හැර වෙන අන් යමක් නොවේ. ලිංගිකත්වය ගැන කථා කිරීමට යාමේ දී එය වල් කථාවක් යැයි පවසා කුණුහරුපයෙන් ම බනින්නේත් ඒ නිසාවෙනි.

එහෙත් එහි ප්‍රතිඵලය වී ඇත‍්තේ කුමක් ද? ශිෂ්‍යයා අත ජංගම දුරකථන ය. ඒවායෙහි අසභ්‍ය දර්ශන ය. ඔවුන් එයින් තෘප්තිමත් වීමට පුරුදු වේ. සති අන්ත පුද්ගලික පංති යන අපේ දරුවන් නතර වන්නේ එදා මෙන් ළඳු කැළෑ වල නොව "දියවර", "නිල් නදී" වැනි තානායම් වල ය.ඔවුන් තෘප්තිමත් වන්නේ එසේය. බස් රථ වල, දුම්රිය තුළ සිදු වන ලිංගික හැසිරීම් ද තෘප්තිමත් වීමේ ආකාරයන් ය. සිනමාහල් වල, සතුටු උයන් වල මෙන්ම අනියම් සබඳතා හරහා ද සිදු වන්නේ මෙම ආකල්පයන්ගෙන් වැට බැඳ ඇති අවශ්‍යතා සංතෘප්ත කර ගැනීමකිය.

ඉතිං සිදු විය යුත්තේ කුමක් ද? ගැහැනියක හා පිරිමියකු එකතු වීමට ඇති බාධා කවරේ ද? ඇත්තෙන්ම ලිංගිකත්වය යනු හුදෙක්ම ආදරය හා ආධ්‍යාත්මික සබඳතාවය මග හැර තෘප්තිමත් වීමේ ක්‍රියාවලියක් පමණක් ම ද? නැත... කිසිසේත්ම නැත. ලිංගික සබඳතාවක් ඇති වීමට මත්තෙන් ගැහැණිය හා පිරිමියා අතර ආධ්‍යාත්මික සබඳතාවක් සිදු විය යුතුය. එහෙත් සිදු ව ඇත්තේ කුමක් ද? සමාජයේ අති මානුෂීය සබඳතා දෙදරා ගොස් ඇත. අධ්‍යාත්මික සබඳතා පුපුරා‍‍ ගොස් ඒ වෙනුවට ආර්ථික සබඳතා මතු වී ඇත. අප කා අතරේත් අද පවතින්නේ අධ්‍යාත්මික සබඳතා නොව ආර්ථික සබඳතාය.

මිනිස් ශරීරය විසින් ඉල්ලා සිටිනු ලබන ජීව විද්‍යාත්මක අවශ්‍යතාවය ආර්ථිකය මත මිරිඟුවක් බවට පත් කර ඇත.දෙදෙනාගේ සබඳතාවය තීරණය කරනුයේ අධ්‍යාත්මය මත නොව රැකියාව, සමාජ තත්ත්වය මතය. ඔවුන්ගේ එකතුවීම හුදෙක් පුද්ගලයන්ගේ එකතු වීමක් නොව දේපොළ වල එකතු වීමකි.නිසි වියට පැමිණි තරුණ යුවලක් විවාහ වීමට ඉ‍ටු කර ගත යුතු කරුණු ලෙස රැකියාව, දෑවැද්ද හා දේපොළ අනිවාර්ය අංගයක් බවට පත් කොට ඇත. පිරිමියාගේ ප්‍රජනන පද්ධතිය තුළ දෛනිකව ශුක්‍රාණු නිපදවීමත්, ගැහැනිය තුළ දින 28 කට වරක් ඩිම්බයක් මෝචනය වීම සිදු වේ. එවිට ලිංගික හෝමෝන උත්තේජන වේ.

ඒ විසින් ඉල්ලා සිටිනුයේ එවන් ක්‍රියාකාරකම් වල නිරත වන ලෙසය.‍එහෙත් රැකියාවක් ලැබෙන තුරු, නිවසක් හිමි වන තුරු, දෑවැද්ද සොයා ගන්නා තුරු ගැහැණියක හා පිරිමියකු විවාහයක් හරහා එකතු වීම කල් දැමීමට සිදු වේ. දිනෙන් දින රැකියා අහිමි වන සමාජයක රැකියාවක් සොයා ගැනිම අතිශය සංකීර්ණ ක්‍රියාවලියකි. දිනෙන් දින වැටුප් වැඩි වීම් ඉල්ලා ජීවන බර අඩු කරන ලෙස ඉල්ලා රැකියා ලබා දෙන ලෙස ඉල්ලා පවතින සමාජයට එරෙහිව අරගල කිරීම හැර රටේ තරුණ ප්‍රජාවට ඉතිරි වී ඇත්තේ කවරක් ද?

සමාජයේ පීඩනය ශරීරයට ඔරොත්තු දෙන්නේ නැත. ශරීරය ඉල්ලා සිටින්නේ ඒ ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයයි. එහෙයින් මිනිසා දැවැන්ත ලිංගික පීඩනයකට නිතරම ගොදුරුව සිටී. එම පීඩනය එතරම් සරල නැත.ශරීරය ඉල්ලා සිටින අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටිය හැක්කේ තව කෙනෙක් සමග එය බෙදා ගැනීමෙනි. නමුත් වැටුප් වැඩි වීම සඳහා, රැකියා ලබා ගැනීම සඳහා එක්ව අරගල කළ ද, මේ සඳහා එක්ව අරගල කිරීමට තබා කථා කිරීමටවත් නිදහසක් නොමැත.

එහෙයින් දිනෙන් දින ස්ත්‍රී දූෂණ වැඩි වීම, ගණිකා වෘත්තියේ යෙදෙන්නන් වැඩි වීම, කැරෝකේ ශාලා වල සිදුවීම් වැනි සිදුවීම් දෛනිකව අසන්නට ලැබේ. මෙම පීඩනය මත මිනිසා ජීවත් වේ.ප්‍රශ්නය ඇත්තේ කොතැනද? මිනිසුන් අතර ඇති අති මානුෂීය සබඳතා දෙදරවා ඇත‍්තේ ආර්ථික සබඳතා විසින් ය. එහෙයින් අධ්‍යාත්මික සබඳතා නැවත ඇති කිරීමට නම්, මිනිසා හෙට්ටු කර ඇති, එකිනෙකා සතුරු කරවා ඇති මෙම දූෂිත, පිළිකුල් සහගත සමාජ ක්‍රමය වෙනස් කළ යුතුව ඇත. ඒ අනුව ලිංගික නිදහස ඇති කර ගත හැකි වන්නේ සමාජ ක්‍රමය වෙනස් කොට ලබන්නා වූ ආර්ථික නිදහස තුළම පමණි.

ඉඩ දෙන්න හදවතට නොව බුද්ධියට සිතන්න........
ඒ හදවත හැඟීම්බර වන නිසාත්, බුද්ධිය බුද්ධිමත් වනු ඇති නිසාත්.........!

(මෙම ලිපිය පළ වූ අවස්ථාවේ අපව බ්ලොග් කියවයයට ඇතුළත් වී නොතිබූ නිසා නැවත පළ කරන ලදී.)