Monday 6 September 2010

පෙනුම ගල් වී හරය බොල් වීම

Facebook Account එකක සැබෑ අර්ථය කුමක් වුවත්, මටත් සමාජය හා මිනිසුන්ව අඳුනගන්න මේ ක්‍රමය යෝග්‍ය යැයි සිතුන නිසා පටන් ගත්තා‍ ඒ වැඩේත්. මොකද ‍මේ සමාජය ඇතුලේ මිනිහෙක්ව තේරුම් ගන්න ඔවුන්ව ඇසුරු කරන්න විවිධ වැඩ වල යෙදුනු මම ඒවායින් සාරවත් ප්‍රතිඵලයක් ඇති නොවුනු නිසා ඒ සාම්ප්‍රදායික ක්‍රමයෙන් මිදී මේ වැඩේට set වුනා. හුදෙක් මිතුරන් හඳුනාගැනීම පමණක්‍ තේරුමක් නොමැති නිසා ඉන් එයා පුළුල් අදහසක් ඇතිව ඔවුන් සමග අර්ථවත් ඇසුරකට කරන අරගලයක් ලෙස මා මෙය හඳුන්වනවා. මේ ටික දවසට මගේ Facebook එක බලපු අය මගේ මිතුරෝ වෙලා ඉන්නවා. මේ දවස් වල කරන්නේ ඇත්තටම ඒ අය කවුද? මොකක්ද එයාලාගේ අරමුණු කියලා තේරුම් ගන්න උත්සාහ කරන එක. ඉතින් ඒ වැඩෙත් යන ගමන් පොතකුත් කියවමින් සිටි මට අපි ගැන, අපේ සමාජය ගැන කල්පනාවට ආව දේවල් ඔහේ ලියලා දැම්මා.....

පසුගිය දවස් වල News වල තිබුණා අවුරුදු 3000 ක් පැරණි සොහොන් සංකීර්ණයක් හපුතලේ ප්‍රදේශයෙන් හමුවෙලා තියන බව. ඇත්තටම මේ News එක දැක්කාම මාර ගටක් හැදෙනවා නේද? අපිට ඒ තරම් ලොකු ඉතිහාසයක් තියනවා කියලා. අවුරුදු 2500 ක ලිඛිත ඉතිහාසයක් තියන අපිට ‍මේ සිද්ධියත් එක්ක ඒවා ඔක්කොම වෙනස් වෙනවා. අපේ ඉතිහාසය නැවතත් අලුත් වෙයි කියලත් හිතෙනවා. ඉතිහාසඥයෝ, පුරාවිද්‍යාඥයෝ මේ සිද්ධියත් එක්ක මාර "ටෝක්ස්" දුන්නේ. ඇඟ කිලි‍පොලා යනවා එව්වා අහලා. බලංගොඩ මානවයත් නැගිටින තාලේ දේවල් කිව්වේ.

අපේ රට විදියට ගත්තාම ජාතික වශයෙන් මේක මාර ඓතිහාසික වැඩක්. පසුගිය කාලේ සිද්ධ වුන දේවල් දිහා බැලුවාම ඒවත් එක්ක එක පෙළට සිද්ධ වෙන තවත් හොඳ වැඩක්. මම එහෙම කිව්වෙ අපේ රටේ යුද්ධය ඉවර වුනා, සංවර්ධනය ආරම්භ වුනා, මිනිස්සුන්ගෙ ප්‍රශ්න මිනිස්සුන්ටම අමතක වුනා. දැන් මිනිස්සු හිතන්නේ "අංක 01" වෙන්න. ඉතිං බෙදුම්වාදයත් පරාජය කරලා, ජාතික සමගිය හදලා, සංවර්ධනය ආරම්භ කරලා, දකුණු ආසියාවේ කප් එක උස්සලා, මුළු ආසියාවෙම "ආශ්චර්යය" අපේ රටේ නිර්මාණය වුනාම කාටද ආඩම්බර නැත්තේ.....???

අපේ රටේ යුද්ධය ඉවර වුනා කියන්නේ අපේ රටේ දෙමළාට ගහලා සිංහලයා 01 වුනු එකට. ඊළඟට හින්දුවට, මුස්ලිම් එකාට, නේපාල් කාරයට, මලයාලම් කතා කරන එකාට, චීනට ගේමක් දීලා ආසියාවේ 01 වෙන එක තමයි ‍ගේම් එක. පුළුවන් වුනොත් එතැනින් පෙන්ටගනයටත් ගහන්න ඉඩ තියනවා. ඉතින් මෙහෙම 01 වීමේ සිහිනයක් අපට තියනවා. අපේ රටේ අය මේ ගමනට උදව් කරන්නේ තමන් තමන්වම වැරදි කාරයෙක් විදියට හංවඩු කරගෙන තමන්වම ගස් බැඳගෙන. මාර ආතල් නේද වැඩේ???

ඉතින් දැන් මේ ගමනට අපට තියෙන ආයුධ මොනවද? අනිත් එක මෙහෙම සිහිනයක මිනිස්සු පැටලෙන්න හේතුව ‍මොකක්ද? ඇත්තටම මිනිස්සු කැමතියි සර්වබලධාරී වෙන්න. හැම එකකින්ම ඉදිරියෙන් ඉන්න. ඒක අපිට මේ මිය යමින් ඉන්න සමාජය උගන්වපු දෙයක්. තරගකාරීත්වය මේ සමාජයේ අනිවාර්ය දෙයක්. ‍මේ සටනේ අරමුණ තමයි අපේ අනන්‍යතාවය හදා ගන්න එක. දැන් වර්තමාන ශ්‍රී ලාංකිකයාට අනන්‍යතාවයක් තියෙනවාද? අපි සෑම මොහොතකම අපේ අනන්‍යතාවය ඉදිරිපත් කළේ ඉතිහාසයෙන්. ඉතිහාසයේ තමයි අපේ ලොකු වැඩ ඔක්කොම තියෙන්නේ. වැව් දාගැබ් හදපු, ශිෂ්ටාචාර බිහි කරපු, විදෙස් රටවල් ආක්‍රමණය කරපු ඉතිහාසය තියෙන්නේ ඉතිහාසයේ. ඉතින් මිනිස්සු ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඉතිහාස පොත් පිටු වලින් ඉර ඉරා පෙන්වනවා. අපිට තියෙන එකම ආයුධයත් මේ ඉතිහාස අනන්‍යතාවය විතරයි. එහෙමනම් ඉතින් අපේ වර්තමානය බොල් නේද?

අනිත් එක, අපේ රට මුහුණ දී ඇති ආර්ථික අවපාතය, ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීම, මානව හිමිකම් අමු අමුවේ මරා දැමීම, විදෙස් ප්‍රතිපත්තියේ ඇති නිවට බව, විදෙස් රටවල් ඉදිරියේ දණ නැමීම, ජාතික සමගිය ගොඩ නැංවීමට ඇති නොහැකියාව, පශ්චාත් යුද වාතාවරණය... මේ ආදී තත්ත්වයන් කෙරෙහි අවධානය යොමු කළ විට අපේ බලාපොරොත්තුව විය හැක්කේ කුමක්ද? ඉතින් අපේ වර්තමානය බොල් නේද?

ගෙවුණු වසර 62 ක ඉතිහාසය විසින් ඔප්පු කොට ඇති සත්‍යය වන්නේ පාලකයන් "බලාපොරොත්තු" නමැති කැරට් අලය ඉදිරියට දමා රටේ ජනතාව තමන්ට අවැසි මගක දක්කාගෙන විත් ඇති බවයි. ජනතාව විසින් තම බලාපොරොත්තු ජයග්‍රහණය කර ඇත්නම් ඒ වෙන අයුරකින් නොව තමන් විසින් කළ "අරගල" නිසාවෙනි. වැඩ කරන පන්තියේ මිනිසුන්ගේ වසර 500 ක අත්දැකීම එයයි. මෙම සත්‍යය තේරුම් ගැනීමට තව දුරටත් පසුබට විය යුතු නැත. දැන් ආරම්භ කළ යුතුය අපගේ විමුක්තියේ මාවත. ප්‍රජාතන්ත්‍රවාදයේත් මානව නිදහසේත් මාවත. වැඩකරන පන්තියේ වෛද්‍යවරයා, නීතිවේදියා, ලියුම් බෙදන්නා, ගුරුවරයා, ශිෂ්‍යයා, රෝගියා, චූදිතයා, කම්කරුවා මේ සියල්ලන්ම අවබෝධ කර ගත යුත්තේ මෙයයි.

වර්තමාන පාලනයේ ද පෙනුම ගල් වී හරය ‍බොල් වී ඇති බව මෙකී පාඩම් වලින් තේරුම් ගත යුතුවාක් මෙන්ම, සුන්දර සිහින වල හෝ සාහිත්‍යයේ වචන තුළ අතරමං නොවී සිටීමට ද තර‍යේ අවධානයට ගත යුතුය.

'"අරගලය" පැවැත්මේ පියා හා රජු වේ'
- නෙරක්ලීටස් -

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. වැදගත් සටහනක් FB.
    ඔයා කිව්වා වගේ අපි ගොඩක් දේවල් අරගල කරලා ලබාගත් ජාතියක් නෙමේ. ඉතිං නිදහස පවා අපිට ඓන්ද්‍රිය නැහැ.
    (මේ බ්ලොග් එක දිගටම අප්ඩේට් කරන්න. අපි මේක අපේ කියවීම්පල වන http://ambagaha.blogspot.com/
    ට ලින්ක් කරනවා.)

    ReplyDelete