Friday 17 September 2010

බහුතරය

සියල්ප නිහඬය. වචනයකුදු ඇසෙන්නේ නැත. අඩුම තරමේ කෙඳිරිලි හඬක් වත් නැත. සියලු තත්ත්වයන් පෙළ ගැසෙමින් එන්නේ දැවැන්ත කුණාටුවකට මෙන්ය. සාමාන්‍යයෙන් කුණාටුවකට පෙර මහ මුහුද නිහඬය. මසුන් මුහුදු පත්ලේ නිසොල්මන් වන්නේය. මැණික් ගල් සහ ගොමරිටි වල වෙනස හඳුනා නොගෙන උඩ පාවෙන ගොමරිටි වලට වඩා වැඩි වටිනාකමක් එකතු වී ඇති සෙයකි.

මුලින්ම ඔවුන් ජයග්‍රහණය ලැබුවේය. ආත්මයක් දෙකක් නොව ආත්ම සිය ගණනක් ජයග්‍රහණයක සජීවී අත්දැකීම් නොලැබූවන් මෙන් ඔවුන් ඒ ජයග්‍රහණ වල සතුට බුක්ති වින්දේය. ඒ මදිවාට ජනතාවද ඒ පිටුපස රැගෙන ගියෝය. ඔවුන් අමන්දානන්දයට පත් වී ආශ්චර්යයන් සොයා ගියෝය. ජනතාවගෙන් එකෙකු දෙන්නෙකු නොව සිය දහස් ගණනක් තම ප්‍රතිපත්තිගරුක ජීවිත අමු අමුවේ විකුණා දමනු ලැබීය. මෙතෙක් එම ජීවිත සතු වූ කන්‍යාභාවය එක මොහොතකින් කුඩු පට්ටම් කරන ලදී.

ඒ අතර එකා දෙන්නා මෙහි වූ මිත්‍යාවට එරෙහිව එළි බසින්නට විය. සිහින් කෙඳිරිලි හඬ මතු වන්නට විය. පත්තර අච්චු ගසන්නට, පෝස්ටර් අලවන්නට විය. එහෙත් සිතීමේ හා කතා කිරීමේ නිදහසත් අහිමි කොට එසේ කළවුන් සොයා ඝාතනය කිරීමේ මෙහෙයුම ඇරඹිණි. ඔවුන් ලසන්තව ඝාතනය කෙරිණි. තිස්සනායගම් අත්අඩංගුවට ගැණුනි. ප්‍රගීත්ව අතුරුදන් කෙරුණි. වසර 40කට පමණ පසු පත්තර කාර්යාල සීල් තැබුණි. කතෘවරුන් අත්අඩංගුවට ගෙන 4වෙනි තට්ටුවට ගැණුනි. පුවත්පත් සේවකයින් ද දින නියම නොමැතිව අත්අඩංගුවේ රඳවා තබා ගැණුනි.ඔවුන් ජෙනරාල්ව කකුල් කෙටියෙන් ඔසවාගෙන ගියෝය. අධිකරණ කැඳවා නඩු විභාග කළෝය. තරු පටි ගලවා අපකීර්තිමත් ලෙස සේවයෙන් පහ කොට විශ්‍රාම වැටුපද අහිමි කොට 10 x 12 කාමරයක සිරකොට විරුද්ධවාදීන්ගේ කෙඳිරිල්ල මහා ගිගුරුමක් වන්නට ප්‍රථම නවතා දැමූහ. විජිත හේරත්ලා, අජිත් කුමාරලා, නලින් හේවගේලා ‘A‘ ශ්‍රේණියේ පොලීසියකට පහරදීමේ චෝදනා මත සිර අඩස්සියට ගත්හ. ශුද්ධ වූ සියල්ල ඔවුන් විසින් කෙළසන ලදී. එහෙත් ඒ තව කොපමණ කලකට ද.........?

සාමාන්‍යයෙන් හමුදා ඛණ්ඩයකට අණ දෙන නිලධාරියා සතුව ආයුධ නැත. උදාහරණයක් ලෙස හමුදා උත්තමාචාර උළෙලක දී අණදීමට ආයුධ භාවිතා කරන්නේ නැත. එහෙත් එවැනි පෙළපාලියක ගමන් කරන සොල්දාදුවන් අත අති නවීන ආයුධ ඇති අතර, ඔවුන් සියලු දෙනාම තමන්ට අණ දෙන නිරායුධ නිලධාරියාගේ උස් හඬට අනුව කටයුතු කරයි. සීරුවෙන් සිටීම, පහසුවෙන් සිටීම මෙන්ම තමා අතින් සිදු වන වරදක දී නිරායුධ නිලධාරියාගෙන් ගුටි කෑමට ද බැඳී සිටී.

සාමාන්‍යයෙන් පොලීසියක 40ක 45ක ප්‍රමාණයක් සේවයේ යෙදෙන්නේ යැයි සිතමු. රටේ පොලීසිය අන්තිම පහත් නීච තත්ත්වයට පත්ව ඇති ආයතනයක් බව ප්‍රසිද්ධ කරුණකි. සෑම පුද්ගලයෙකු තුළම ඊට එරෙහි මතයක් ඇත. පොලීසිය නැති තැන ඔවුන්ගේ පතුරු ගැලවෙන්නට දෙහි කපයි. එහෙත් පොලීසියේ දෙදෙනෙකුට පමණක් එක් නිශ්චිත භූමි භාගයක් පාලනය කළ හැකිය. සමහර විට එම භූමි කොටසේ පමණක් ජනතාව 60,000 ක් ජීවත් වනවා වන්නට පුළුවන.

ගෙනහැර දැක්වූයේ සරල උදාහරණ දෙකක් පමණි. ඔබට මින් වැටහෙන්නේ කුමක්ද? ආයුධ සන්නද්ධ සීමිත පිරිසක් විසින් නිරායුධ මිනිසුන් කෝටි ගණනක් පාලනය කිරීමට ක්‍රමයක් සකස් කරගෙන ඇති බව නොවේද? අපේ ජීවිත වල අනාගතය, දෛවය, මේ හැම එකකම තීරකයා බවට ඔවුන් පත් කර ගෙන ඇති බව නොවේද? ඊටත් වඩා හාස්‍යය නම් මෙම ආයුධ සන්නද්ධ පිරිස් ද දියවන්නාවේ සිටින 225 දෙනෙකුට මොන තරම් බිය වී ඇතිද යන්නයි. ඔවුන් එකෙකු හෝ දකින විට හුනස්නෙන් නැගිටීම, තොප්පි ගැලවීම, කාණු වලට බැසීම, තමාගේ බිරිඳ පවා එක් රාත්‍රියකට හෝ දන් දීම, තම දරුවාගේ අයිතීන් වෙනුවෙන් බැලමෙහෙවරකම් කරවීම, ...... මේ අපේ තරමය........!

ඇත්තටම අපේ ජීවිත වල අනාගත තීරකයා බවට 225 දෙනෙකු පත් කොට ඇත. ඔවුන් කරනා ඕනෑම දෙයක් අපේ කරුමේ, දෛවය ලෙසට ගිණුම්ගත කර ගැනීමට පුරුදුව ඇත. එය එලෙසම සිදු වන තාක් කෝටි 02ක් යටකොට 225ක් බලයේ රැඳෙනු ඇත.

එහෙත් එය නිවැරදි ක්‍රමය නොවේ. බහුතරය ඇත්තේ ද එතැන නොවේ. 225 දෙනාට වඩා බහුතරය වූ කෝටි 02 වටින්නේය. එහෙයින් නොපමාව තීරණයක් ගත යුතුය. වඩා බලවත් 225 ද නැත්නම් කෝටි 02 ද යන්න තීරණය කළ යුතුය. පවතින system එක ඉතා ඉක්මනින් වෙනස් කළ යුතුය. නොඑසේ නම් ඔවුන් ලසන්තව, තිස්සනායගම් හා එක්නැළිගොඩ සොයා ගියාක් මෙන් අප සොයා ද එනු නොඅනුමානයි. අප අවබෝධ කර ගත යුතු, පාලකයන් තේරුම් ගත යුතු සත්‍යය එයයි. එහෙත් මේ සියල්ලටම දිගු කලක් යා යුතු නැත. දිගු කලක් ලබා දිය ද නොහැක. ඔවුන් අප වෙත පැමිණීම කොයි මොහොතේ හෝ සිදු වන බැවිනි. මෙතෙක් බහුතරයේ වූ නිහැඬියාව ප්‍රමාණවත්ය. මේ මුළු system
එකම වෙනස් කිරීමට අපි set වෙමු. මේ සඳහා ඔබගේ ඇත්ත comment එක ඒ සඳහා වන ආරම්භය බව මතක තබා ගන්න.

කෙනෙකු තම විරෝධය මෙලෙස එක් කර තිබුණි.

දහ අට සම්මතයි
වැඩි ඡන්ද ලොට් එකයි
ඇඟට දැන් සනීපයි

පබා නංගිත් ගියා
මිරිකන්න
මහින්දගෙ අත් දෙක
දෑත් දැන් ශක්තිමත්
අම්බානක පුෂ්ඨිමත්

අයියෝ... පබාත් ගියාද.....?
අපි හිතුවෙ නෑ එයා යයි කියලා
එහෙම කිව්වෙ ගම්පහ කමල්
ඌ පට්ට යූ ඇන් පී

අනේ මනූෂ ඕකටද අපි
උඹට ඡන්දෙ දුන්නෙ
එහෙම කිව්වෙ ගාල්ලෙ සුනිල්
මිනිහත් යූ ඇන් පී
කැපුවත් යූ ඇන් පී

අයි අයියෝ රංගා
ඉංග පෝරේ
එහෙම කිව්වෙ හැටන් වල කන්නයියා

කමල් සුනිල් කන්නයියා
තවත් ඉන්න ගොංබයියෝ
අඬන්න එපා තොපි
කළකිරෙන්න එපා තොපි
තල වැව්වොත් තලම තමයි
තොපිටත් දැන් බඩුම තමයි

කඳුළු පිහිද ගනිල්ලා
අතට හයිය ගනිල්ලා
මතක් කරපල්ලා
ප්‍රජාතන්ත්‍රවාදය

මනූෂලා, පබාලා, රංගලා, රංගේලා
රඟන අනිත් හැතිකරේම
යැව්වෙ දියවන්නාවට තොපි
නියෝජනය කරන්න තොපිව

අල්ලපං උන්ගේ බෙල්ලෙන්
හොල්ලපං ඇති වෙනකම්
කියලා දීපං උන්ට
ප්‍රජාතන්ත්‍රවාදයේ පළවෙනි පාඩම

ඒක අහන් නැත්නම්
ඉගෙන ගන්න කම්මැලිනම්
ගහපිය කණ පැලෙන්න
ඒත් මදිනම්
කඩපිය අණ්ඩක්
එකක් මදිනම්
දෙකක්
එක අතක් නැත්නම්
මිරිකපං බෙල්ල
හුස්ම නතර වෙනකල්

මොන දේ කරත්
මේක පාඩම් කර ගනිල්ලා
චක්කරේ වගේ
දෙසිය විසිපහ පොඩියි
කෝටි දෙකට වඩා..........!

(පැදිය උපුටා ගැනීම - ලංකා ඉරිදා සංග්‍රහය, සඳකඩපහණ අතිරේකය)

1 comment: