Thursday 18 March 2010

වෛරය......!

අප සමාජයේ මිනිසුන් නොයෙක් දෑ වලට වෛර කරනු ලබයි. කෙනෙකු මිනිසුන්ට වෛර කරන විට තවකෙක් සමාජයටම වෛර කරයි. තවකෙක් ගැහැණුන්ට වෛර කරන විට තවකෙක් පිරිමින්ට වෛර කරනු ලබයි. තවකෙක් සංස්කෘතියට වෛර කරන විට තවකෙක් අපේ කමට වෛර කරයි. මේ අයුරින් විවිධ අයගේ රුචි අරුචිකම් මත වෛරය හා අවෛරය තීරණය කර ගන්නා අතර, අපට ද මෙම ලිපිය පුරාවටම ඒ පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කළ හැක. එහෙත් අපගේ මෙම ලිපියේ අරමුණ ඔවුනොවුන්ගේ වෛරය පිළිබඳ නොව, මුළු මහත් සමාජයේ 50%කට වඩා වැඩියෙන් වෛර කරන පිළිකෙව් කරන යමක් පිළිබඳව සටහන් කිරීමය.

අප දැන් ජීවත් වන්නේ 2010 වර්ෂයේය. එනම් මෙම ශතකයේ දශකයක් ගෙවා දැමීමට සූදානම් මොහොතකය. වර්තමානය වන විට අප රටේත්, සමාජයේත් විශාල ජාතික ප‍්‍රබෝධයක් ඇති වී තිබේ. මෙය ඊයේ පෙරේදා ඇති වූවක් ද නොවන අතර, මෙම ශතකය ආරම්භයේ දී ද (එනම් 2000 වර්ෂය වන විට) මෙවැන්නක් රට තුළ දක්නට නොවීය. එසේ නම් මෙම ජාතික ප‍්‍රබෝධයේ ආරම්භය කොතැනකැයි කිව හැකිද? එමෙන්ම විජාතිකත්වයට වූ වෛරය මෑතකාලීනව ආරම්භ වන්නේ කොතැනකින් ද? අප ඉතිහාසය දෙස විමසා බලමු.

2000 වර්ෂය වන විට අපේ රටේ තුන්වැනි ඊලාම් යුද්ධය දියත් වෙමින් තිබුණි. ඊට පෙර මේ සඳහා වූ විවිධ සාම ගනුදෙනු අතරමග නතරව තිබුණි. එම වර්ෂය අවසානයේ මැතිවරණයක් පැවැත්වුනු අතර, පාලක පක්‍ෂය ඉන් ජයග‍්‍රහණය කෙරුණි. එහෙත් ඉන් වසරක් යාමටත් මත්තෙන් ආණ්ඩුව අස්ථාවර වූ අතර, නැවත මැතිවරණයකට යාමට සිදු විය. ඒ වන විට දැවැන්ත ආර්ථික යුද්ධයක් රට තුළ නිර්මාණය වී තිබූ අතර, ආර්ථික වර්ධන වේගය ඍණ අගයක් දක්වා පහත බැස තිබුණි. ඊට අමතරව ලෝකයේත්, අප රටේත් වඩා වැදගත්ම ස්ථාන වලට ත‍්‍රස්තවාදී ප‍්‍රහාර එල්ල විය. මෙවැනි කාල සීමාවක් විපක්‍ෂයට වාසිදායක වූ අතර, එළැඹෙන මැතිවරණයෙන් ජයග‍්‍රහණය කිරීමට ද ඔවුන් කල් යල් බැලීය. එම මැතිවරණය වන විට රට හැරවුම් ලක්‍ෂයකට පැමිණ තිබූ අතර, මැතිවරණයෙන් පසුව රට තුළ විවිධ විපර්යාස සිදු වන්නට විය.

එක් පැත්තකින් බෙදුම්වාදී ත‍්‍රස්තවාදය ශක්තිමත් වෙමින් තිබූ අතර, ආර්ථිකය ගෝලීයකරණ සංකල්පය තුළ ලිබරල්කරණය වෙමින් පැවතුනි. ජාතිකකරණය වෙනුවට විජාතිකකරණය විවිධ වෙස් ගනිමින් පවතින බව දැකගත හැකි විය. අපේකම වෙනුවට උන්ගේකම ආදේශ වන්නට විය. බෙදුම්වාදී ත‍්‍රස්තවාදය නව වටයකින් ශක්තිමත් වෙමින් රට තුළ ඔවුන්ගේ ආධිපත්‍යයක් පතුරුවන්නට සමත් වෙමින් තිබුණි. විවිධ ජාත්‍යන්තර මැදිහත්කරුවන් ජාත්‍යාලයේ වෙස් ගෙන රට තුළට රිංගා ගැනීමට වෙහෙස ගත් අතර, එසේ පැමිණිවුන් ආපසු ගියේ හිස් අතින් ද නොවීම විශේෂත්වයකි.

මේ අනුව සමාජයේ ජාතිකත්වයට පක්‍ෂපාතී විජාතිකකරණයට එරෙහි සමාජ බලවේගයක රික්තය තහවුරු වෙමින් පැවතුනි. සමාජයට අවශ්‍ය වූයේ මෙවන් වූ පාලනයක් ආරක්‍ෂා කිරීම නොව වෙනත් යහපත් පාලනයක් ගෙන්වා ගැනීමය. ඒ අනුව ජාතික හැඟීම වටා විවිධ බුද්ධිමතුන්, ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, ගුරුවරුන්, වෛද්‍යවරුන්, කලාකරුවන්, දේශපාලකයින්, බුලත්විට අලෙවි කරන්නන්, නාට්ටාමිවරුන්, වෙළෙන්දන්, පොල් කඩනවුන් යන මෙකී නොකී සියලූ බලවේග එක රොදකට පොදි බඳින්නට විය. මෙහි විශේෂත්වය වූයේ මීට නායකත්වය සපයනු ලැබුවේ මෙරට ශක්තිමත් විප්ලවවාදී ව්‍යාපාරය විසිනි. විප්ලවවාදීන්ගේ රතු ධජයත්, ජාතියේ ජාතික කොඩියත් එක මිටට ගත් ඔවුහු ගාල්ලේ සිට කොළඹටත් මහනුවර සිට කොළඹටත් වීදි බසින්නට විය.

ජනතා විරෝධයන් දිගටම එල්ලවද්දී පාලක පක්‍ෂයද තම කටයුතු අත්හැරියේ නැත. ආර්ථිකය සතු රාජ්‍ය සම්පත් විකුණා දමමින්, කුලී පදනම මත බදු දෙමින්, විකුණාගෙන කන ආර්ථිකයක් නිර්මාණය කරමින් තිබුණි. අනෙක් පැත්තෙන් ත‍්‍රස්තවාදී ව්‍යාපාරය ද්විත්ව බලයක් රට තුළ නිර්මාණය කිරීමට දායක වී තිබුණි. ජනතාවගේ විරෝධතාවයන් තීව‍්‍ර වූයේ මේ සමගින්. ඒත් සමගම නායකත්වය සැපයූ වාමාංශික ව්‍යාපාරය ඉතාම ශක්තිමත් ව්‍යාපාරයක් ලෙස හිඳිමින්, ජාතිකවත් ජාත්‍යන්තරවත් මෙම තත්ත්වය පරාජය කිරීම සඳහා කටයුතු කරමින් සිටිනු දක්නට ලැබුණි. ඔවුන් පාලක පක්‍ෂයට, අධිරාජ්‍යවාදීන්ගේ නියම නියෝජිතයා ලෙසත්, ත‍්‍රස්තවාදීන්ගේ රාජ්‍යය ශක්තිය ඔවුන් බවටත් නම පතුරු යන තුරු වේදිකා තුළ මත නිර්මාණය කරන්නට විය. විශේෂයෙන්ම මෙම වමේ ව්‍යාපාරය මැදිහත්ව රට තුළ ජාතික චින්තනයක් ද බෙදුම්වාදී ත‍්‍රස්තවාදයට විරුද්ධ මතයක් ද නිර්මාණය කරන්නට සමත් විය.

එහි ප‍්‍රතිඵලයක් ලෙස සමාජය එම මතය භාරගත් අතර, එය පාලක පක්‍ෂයේ විජාතිකත්වයට එරෙහි කඳවුරක් නිර්මාණය කරන්නට සමත් විය. එතැන් පටන් පාලකයින්ගේ ක‍්‍රියාකලාපයන් අධිරාජ්‍යවාදී මැදිහත්වීම් ලෙස හඳුනාගත් ජනතාව, තමන්ට තේරෙන බසින් අධිරාජ්‍යවාදය යන්නත්, දේශපේ‍්‍රමය පිළිබඳවත් හඳුනාගන්නට විය. සමස්ථ ජනතාවම වමේ ව්‍යාපාරයේ මැදිහත්වීම මත ජාතික ප‍්‍රබෝධයකට ගෙන ආ අතර, දේශපේ‍්‍රමීන් ද නිර්මාණය කෙරිණි.

ඒ අනුව යමින් එතෙක් පැවති පාලනය පෙරළා දැමීමට වමේ ව්‍යාපාරයේ නායකත්වය සහිතව රටේ ජනතාවට හැකි විය. එතැනින් ආරම්භ වූයේ දේශපේ‍්‍රමීන්ගේ කාලයයි. ඔවුන්ගේ වාරයයි. සියලූ අධිරාජ්‍යවාදී මැදිහත්වීම් වලට එරෙහිවවත්, බෙදුම්වාදී ත‍්‍රස්තවාදයට එරෙහිවවත් රටේ ජනතාව නිතර වීදි වල සටන් පාඨ කියනු දක්නට ලැබුණි. එතෙක් පැවති පාලනයට එරෙහි ''ආධ්‍යාත්මික විරෝධයක්” වමේ ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් නිර්මාණය කෙරිණි.

වර්තමානය වන විට අප මාතෘභූමිය තවත් වටයකින් අනතුරකට මුහුණ දෙමින් සිටී. ඊට එරෙහිව මෙවර ද වමේ ව්‍යාපාරය නායකත්වය ගෙන ඇත්තේ විද්වතුන්, බුද්ධිමතුන්, ආචාර්ය මහාචාර්යවරු සමගින් ඔවුන් විසින්ම මහා ''ආධ්‍යාත්මික විරෝධයක්” නිර්මාණය කළ පෙර පැවති පාලකයින්ගේ කණ්ඩායම සමගිනි.

එහෙත් මෙවර ද ජනතාව මෙම පුළුල් ජනතා ව්‍යාපාරය භාරගැනීම පිළිබඳ දෙගිඩියාවක නැතත්, ඔවුන්ට සිතීමට බල කර සිටින කාරණාවක් මතුව ඇත. එනම් ඔවුන් සිත් තුළ ඉදිව ඇති ''ආධ්‍යාත්මික විරෝධයේ” ස්ථම්භයන් ඔවුන් විසින්ම කඩා බිඳ දැමීමට තවමත් ඔවුන් කල්පනා කරමින් සිටින බවය. එය ඒ තරමටම ජනතා සිත් සතන් තුළ කිඳා බැස ඇති වෛරී සහගත විරෝධයයි. පෙර පැවති පාලනය පිළිබඳව ඔවුන් නැවත නැවතත් මතක් කරමින් තම විරෝධයන් අලූත් කර ගනිමින් සිටී. එහෙයින් ඔවුන් කල්පනා කරනුයේ එම කණ්ඩායම නොමැති පෙර මෙන්ම දේශපේ‍්‍රමීන්ගේ කණ්ඩායමකි.

පසුගිය මැතිවරණ සටනේ දී 50%කට වඩා වැඩියෙන් රටේ ජනතාව පවසා ඇත්තේ එයයි. එහෙයින් සමාජගත වෛරය ආපසු හරවා ගැනීමට ජනතාව සූදානම් නැතිවාක් මෙන්ම, ඔවුන්ට නැවත බලයට ගෙන ඒමට ද රටේ ජනතාවට උවමනාවක් ඇති බවක් නම් පෙනෙන්නේ නැත. එහෙයින් ජනතාව දැන් බලා සිටින්නේ රටේ වමේ ව්‍යාපාරය කෙබඳු ක‍්‍රියාමාර්ග ගන්නේදැයි යන්නය. එය ජනතාවට පැහැදිලි වන තෙක් වර්තමාන පාලකයින් අලූත් වර්ගයේ ''ආතල්” ගනු ඇත. ඔවුන් මතක තබා ගත යුතු වන්නේ, මෙවර රට හමුවේ ඇති ඉතා තීරණාත්මක කාල පරිච්ඡේදයට මුහුණ දීමට ජනතාවට ශක්තිය ඇතිවාක් මෙන්ම, නුදුරේ දී ම ඔවුන් ඉතා දැඩි තීරණයක් ගනු ඇති බවයි.

නුවර පාරෙන් ගිය පමණින් සුන්දර හා ඓතිහාසික ස්ථාන දැකබලා ගත නොහැකි බවත්, කවරකු නොව කවරක් නිවැරදි ද යන්න ජනතාව මැනවින් වටහා ගෙන ඇති බවත්, සදාහරිතයින් වුවද තේරුම් ගත යුතු කාලය එළැඹ ඇති බව ද මතක් කර දිය යුතුය.

No comments:

Post a Comment