Tuesday 16 March 2010

යුතුකම් ඉටු කරමු !

මේ බ්ලොග් එකට ආව ගිය අයට පසුගිය දවස් වල අලුත් යමක් දැක ගැනීමට නොහැකි වූ නිසා අපිව සදහටම දාල යන්නත් ඇති සමහරු. තවත් සමහරු දින කිහිපයකට සැරයක් හෝ අප වෙත එනවා යනවා ඇති. තවත් අයෙක් දිනපතාම අපි ගැන සෙවිල්ලෙන් ඉන්නවා ඇති.

මොන දේ මොන විදියට වුනත්, අපි වෙත එන හැමෝටම අපි ගැනත් ටිකක් සඳහන් කරන්න වෙනවා. අපි වෘත්තිය බ්ලොග් කරුවන් නොවේ. දිනපතාම අපිට සිංහල අකුරු ‘යුනිකෝඞ්’ බවට පෙරළන්න වෙලාවක් වෙන් කර ගැනීමේ අපහසුවක් තියනවා. අපි නියැලෙන කටයුතු සමග අපගේ අවිවේකීයත්වය අපව යට කරගෙන ගොසින්. කෙසේ වෙතත් තරමක නිහැඬියාවකින් පසුව වුවත් මෙසේ ඔබ වෙත පැමිණීමට කල්පනා වූයේ ඔබ අපිව හැර නොගිය නිසාවෙන් වූ යුතුකම ඉටු කිරීම සඳහායි.

ඇත්තටම සඳහන් කළොත්, පසුගිය දවස් වල මේ රටේ සිදුවුණු දේවල් දුටුවාම අදහා ගන්නත් බැරිවුණා. මේ සිදුවීම් මීට කලින් සිනමා කෘති වලින් අප දැක තිබුණා. පොත් වලින් කියවලා තිබුණා. මේ රටේ පසුගිය දවස් වල කෘතගුණ සැලකීම සඳහා දින වෙන් කර තිබුණා. එය හැඳින්වූයේ ‘කෘතගුණ සැලකීමේ දිනය’ වශයෙන්. අපේ රටේ අය රොද බැඳගෙන, පොරකකා, බිම පෙරළි පෙරළී කෘතගුණ සැලකීමට දායක වුණා.

එතනින් පස්සේ මොකද වුණේ. මාධ්‍ය වලින් අපට අසන්නට දකින්නට ලැබුණේ එතරම් හොඳ දේවල් නොවෙයි. සමහර පක්ෂ නායකයින්ට මරණ තර්ජන, දශක 4 කට පසුව ප‍්‍රථම වතාවට අපේ රටේ මුද්‍රිත මාධ්‍යයක් සීල් තැබුවා. එහි කර්තෘව දින ගණනාවක් අත්අඩංගුවේ රඳවා තබා ගත්තා. සමහර මාධ්‍ය ආයතන වල වැඩ කළ මාධ්‍යවේදීන් අතුරුදහන්. ඔවුන් පිළිබඳ තොරතුරක් නැහැ. අපේ රටේ පවතින වත්මන් පාලනයට විරුද්ධ මත දැරූවන්ගේ ඔළු පලලා, ගෙවල් ගිනි තියලා, වාහන ගිනි තියලා, සමහරුන් හිරබාරට අරන් රටේ ලොකු විපර්යාසයක් සිදුවෙමින් තිබුණා. අපේ රටේ මහනායක ස්වාමීන්වහන්සේලා පවා යම් මෙහොතකට අරුම පුදුම කාලවකවානුවකට මුහුණ දෙන්න පටන් ගත්තා. ලොකුම අදහාගත නොැකි දේ බවට පත් වූයේ පවතින පාලනයට විරුද්ධ මතයක් දැරූ පසුගිය කාලයේ රටේ වීරයා වූ අයව අත් අඩංගුවට ගැනීමත් සමගයි. අපේ රටේ දශක ගණනාවක් තිබු අශිෂ්ටත්වයේ සංකේතයන් මුලිනුපුටා දමා, ලෝකයේම Super Star බවට පත් වූ පුද්ගලයා අත් අඩංගුවට ගැනීම මේ රටේ බොහෝ අයට රිච්ටර් මාපක බොහෝ ගණනක දේශපාලන භූ කම්පාවක් ඇති කිරීමට සමත් වුණා. මෙය හරියට ප‍්‍රති කෘතගුණ සැලකීමක් බවට පත්වෙමින් තිබුණා.

ඇත්තටම කිවහොත් මෙම දේශපාලන භු කම්පනයට අපද හසු විය. දකුණු ඉන්දීය සිනමා පටවල අප දකින වීරයා අවසාන මෙහොතේ සියල්ල ජයග‍්‍රහණය කොට ජනතා ප‍්‍රණාම දිනා ගන්නවා මිසක දෙඅත්වල මාංචු දමා ගන්නේ නැත. වාතාශ‍්‍රය හෝ හිරු එළියවත් නොවැටෙන කාමර වල හිර අඩස්සියේ සිටින්නේ නැත. එහෙත් ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා නොහොත් ජනරාල් සරත් ෆොන්සේකා මහතාට එවැන්නක් සිදු විය.

අප දේශපාලන මතය කුමක් වූවත්, ජනරාල් අත්අඩංගුවට ගැනීම කිසි විටෙක අනුමත කළ නොහැක. එපමණක් නොව ඔහුට විරුද්ධව පාලක පක්‍ෂයේ කටකතා මඩ ප‍්‍රචාර හා ප‍්‍රවෘත්ති කිසි විටෙකත් ඇසීමට නොහැක. ඒ අපද කෘතගුණ සැලකු මිනිසුන් නිසාවෙන්. අපගේ තරමක නිහැඩියාවට සමාජයේ වූ මෙම විපර්යාසයන් ද බලපෑ බව කිව යුතුමය. අවසානයේ තවදුරටත් නිහඩවීම හෘද සාක්ෂයක් ඇත්තවුන්ට කළ නොහැකි නිසා, යුතුකම් ඉටු කිරීම පිණිස මෙසේ නැවත පෑන අතට ගත්තෙමු.

හෙට දිනයේ ඔහු වෙනුවෙන් දූෂණ චෝදනා හා අපරාධ පරීක්ෂණ, යුද අධිකරණ ඉදිවෙනු ඇත. හෙට දිනයේ ඔහු වෙනුවෙන් සිර මැදිරි, එල්ලූම් ගස් හා ගොබෙල්ස්ලා බිහිවනු ඇත. ඒ ඔහුගේ වීරත්වය, එඩිතර බව හා අධිෂ්ඨානශීලීත්වය විනාශ කිරීම සඳහාය. ඒ ඔහු මෙරට වත්මන් පාලනයට ප‍්‍රධාන අභියෝගයක් වන නිසාය. ඔහුට විරුද්ධව කුමන චෝදනා ඉදිරිපත් කළ ද, විභාග කළ ද ජනතා අධිකරණය පමණක් ඒ කිසිවක් සැලකිල්ලට නොගනු ඇත. එහෙයින් හද කකියවන මෙම සිදුවීම, ලංකා ඉතිහාසයට වූ මෙම කළු පැල්ලම, මකා දැමීම සඳහා අප පෙරමුණ ගත යුතු යැයි සිතමු. ඔහු වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට පෙළ ගැසෙමු. අනාගතය වෙනුවෙන් පෙළ ගැසෙමු......!

අප වේලාසනින් අවදි වුනෙමු.
එහෙත් අප වේලාසනින් අවදි වූ තරමට හිරු පායන්නේ නැත.
දිනෙක හිරු පායද්දී වේලාසනින් අවදි වී සිටීම අපට ප‍්‍රයෝජනයක්ව තිබෙනු ඇත........!


3 comments:

  1. Good post. Glad to know there are still people left with a backbone around here

    ReplyDelete